Advertise here

ඊශ්‍රායලයෙන් රටවල් 6කට ගුවන් ප්‍රහාර

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 380 Views

ඊශ්‍රායල හමුදාව විසින් රටේ ආරක්ෂාවට තර්ජනයක් බව කියමින් දින තුනක් ඇතුළත රටවල් 6කට ගුවන් ප්‍රහාර එල්ල කර තිබෙන බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.

ඒ අනුව පසුගිය සඳුදා සිට බදාදායින් අවසන් වූ පැය 72ක අතරතුර පලස්තීනය, ලෙබනනය, සිරියාව, ටියුනීසියාව, කටාර් රාජ්‍යය සහ යේමනය එම ප්‍රහාරවලට ලක්වී තිබෙන බවයි අල් ජසීරා පුවත් සේවය වැඩිදුරටත් වාර්තා කළේ.

මීට මාස කිහිපයකට පෙර ඉරානයට ද ඊශ්‍රායලයෙන් ගුවන් ප්‍රහාර එල්ල වූ අතර, මේ වසරේදී ඊශ්‍රායලයෙන් යුද මෙහෙයුම් ක්‍රියාත්මක කළ සම්පූර්ණ රටවල් සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව ද සඳහන්.

පසුගිය සඳුදා සිට ඊයේ දක්වා ගතවූ කාලය ඇතුළත ඊශ්‍රායල හමුදාව ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් පලස්තීනුවන් 150ක් ජීවිතක්ෂයට පත්වී ඇති අතර, තවත් 540 දෙනකු තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

සඳුදා දිනයේදීම ඊශ්‍රායල ප්‍රහාරක ගුවන්යානා හෙස්බුල්ලා සංවිධානය ඉලක්ක කරමින් ලෙබනනයේ බේකා සහ හර්මල් පළාත්වලට එල්ල කළ ප්‍රහාරවලින් පුද්ගලයන් පස්දෙනකුට දිවි අහිමි වී ඇති අතර, සඳුදා රාත්‍රියේදී සිරියාවේ ස්ථාන කිහිපයකට එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් එරට හොම්ස් පළාතේ පිහිටි සිරියානු ගුවන් හමුදා කඳවුරක් මුළුමනින්ම විනාශ වූ බව අල් ජසීරා පුවත් සේවය වාර්තා කළා.

ටියුනීසියාවේ සිඩි බෝ සයිඩ් වරායේ නැංගූරම් ලා තිබූ ගාසා තීරයට සහනාධාර රැගෙන යාත්‍රා කරමින් සිටින යාත්‍රා සමූහය ඉලක්ක කරමින් එදිනම රාත්‍රියේ ඊශ්‍රායල හමුදාව ප්‍රහාරයක් සිදු කර ඇති බවත්, ඉන් යාත්‍රා කිහිපයකට සුළු හානි සිදුවී ඇති බවත් වැඩිදුරටත් වාර්තා වනවා.

අනතුරුව පසුගිය අඟහරුවාදා හමාස් නායකයන් ඉලක්ක කරමින් කටාර් රාජ්‍යයේ දෝහා අගනුවර ගොඩනැඟිල්ලකට ඊශ්‍රායල හමුදාවෙන් එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් පුද්ගලයන් 6 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති අතර, බදාදා උදෑසන හවුති කැරලිකරුවන් ඉලක්ක කරමින් යේමනයේ සනා අගනුවරට එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් ගුවන්තොටුපොළට දැඩි හානි සිදුවී තිබෙන බවයි වාර්තා වන්නේ.

👁️ 380 Views

More News..

Advertise here