සමාජ මාධ්‍ය වේදිකා 26කට නේපාල රජය පැනවූ තහනමට එරෙහිව එරට තුළ ක්‍රියාත්මක වූ විරෝධතා මාලාව මේ වන විට පාලනය කර ඇති බව වාර්තා වනවා.
දූෂණයට එරෙහි විරෝධතා අඟහරුවාදා ගිනි තැබීම් සහ ප්‍රචණ්ඩත්වය දක්වා වර්ධනය වූ අතර ප්‍රකෝප වූ පිරිස් දේශපාලනඥයන්ගේ නිවාස මෙන්ම එරට පාර්ලිමේන්තුව සහ ශ්‍රේෂ්ඨාධිකරණයට ඇතුලු රජයේ ගොඩනැගිලි රැසක් විනාශ කරනු ලැබුවා.
එම තත්ත්වය හමුවේ නේපාල ජනාධිපතිවරයා සහ අගමැතිවරයා එම ධුරවලින් ඉල්ලා අස්වුණා.
දින දෙකක් පුරා ක්‍රියාත්මක වූ ප්‍රචණ්ඩත්වයෙන් තිස් දෙනෙකු මිය ගිය අතර 1,000කට වැඩි පිරිසක් තුවාල ලැබුවා.
පසුව පෙරේදා රාත්‍රී 10 සිට නේපාලයේ පාලන බලය හමුදාව යටතට පත්වූ අතර වසා දමා තිබූ කත්මණ්ඩු ගුවන් තොටුපළ ද ඊයේ සිට නැවත විවෘත කරනු ලැබූ බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.
නේපාලයේ මතුවූ ප්‍රචණ්ඩකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් එරට පුරා බන්ධනාගාරවලින් සිරකරුවන් 7,500කට වඩා පැනගොස් ඇති බව එරට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
එමෙන්ම, නේපාලයේ පැවැති විරෝධතා දින කිහිපයකින් පසුව ගිනිතබා විනාශ කරනු ලැබූ ස්ථාන කත්මන්ඩු නගර වැසියන් ඇතුළු තරුණ ප්‍රජාව එක්ව නගරය පිරිසිදු කරනු ලැබුවා.
මේ අතර නේපාලයේ පවතින ගැටුම්කාරී තත්ත්වය හේතුවෙන් කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට අනතුරක් සිදුව නොමැති බව මෙරට විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මේ අනුව, නේපාලයේ උද්ගතව ඇති තත්ත්වය සැලකිල්ලට ගෙන විමසිලිමත්ව කටයුතු කරන ලෙසත් එරට බලධාරීන් ලබාදෙන උපදෙස් අනුගමනය කරන ලෙසත් නේපාලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ගෙන් විදේශ කටයුතු අමාත්‍යාංශය ඉල්ලීමක් ද කරනවා.
එමෙන්ම, ඊයේ පෙරවරුවේ සිට අත්හිටුවීමට පියවර ගැණුනු කොළඹ සහ නේපාලයේ, කත්මණ්ඩු නුවර අතර සිදු කෙරෙන ගුවන් ගමන් අද සිට යළි ආරම්භ කරන බව ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහන් කළා.