Advertise here

ලංගම බස් රථ අලුත්වැඩියා කිරීමට සපයන අමතර කොටස්වල ප්‍රමිතිය අන්තිම සවුත්තු යැයි – ඇමැති බිමල් රත්නායක

Facebook
Twitter
WhatsApp
Telegram
👁️ 2,000 Views

ලංගම බස් රථ අලුත්වැඩියා කිරීමට සපයන අමතර කොටස්වල ප්‍රමිතිය අන්තිම සවුත්තු යැයි ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා ඇමැති බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (11දා) පැවසීය.

මන්ත්‍රී තිළිණ සමරකෝන් මහතා විසින් අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ලංගම ඩිපෝ සඳහා අමතර කොටස් මිලදී ගැනීමේ සැබෑ තත්ත්වය පැහැදිලි කළ ඇමැතිවරයා එසේ කියා සිටියේය.

වත්මන් රජය පත්වීමට වසර ගණනාවකටත් පෙර සිට ලංගම වෙත අමතර කොටස් සැපයීමට සැපයුම්කරුවන් ලියාපදිංචි වී සිටින අතර ඉන් බොහෝ දෙනා මෙලෙස ප්‍රමිතියෙන් තොර අමතර කොටස් සපයන බව හෙතෙම පැවසීය.

ඊට අමතරව අනවශ්‍ය අමතර කොටස් තොග විශාල වශයෙන් ගබඩා කරගෙන සිටින බවත් ඇතැම් ඒවා නාස්තිවීමට ද ලක්වී ඇතැයි හෙතෙම සඳහන් කළේය.

ලංගමට කර ඇති විනාශය සලකා බැලූ විට ලංගම මාසයකින් දෙකකින් ගොඩ නැගිය හැකි යැයි කීමට තමාට නොහැකි බවත් එහි යම් සාධනීය තත්ත්වයක් ඇති කරගැනීමට තවත් වසරක් හෝ දෙකක් ගත වනු ඇති බවත් ඇමැතිවරයා කියා සිටියේය.

කෙසේවෙතත් යම් ඩිපෝ ප්‍රමාණයක් සාධනීය ලෙස වැඩ කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.

👁️ 2,000 Views

More News..

Advertise here