මහජන ආරක්ෂාව සහ ජාතික ආරක්ෂාව එකට ගමන් කළ යුතු බව හිටපු ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය. ඒ මහතා ඒ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ ඊයේ දින (27) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි. එහිදි අබේවර්ධන මහතා මෙසේද පැවසීය.
ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කරනවා ජාතික ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් නැහැ කියලා. ජාතික ආරක්ෂාවයි, මහජන ආරක්ෂාවයි දෙක එකට යන්නේ. 1971 දොරෙයිඅප්පා ඝාතනයෙන් මහජන ආරක්ෂාව නැති වුණු නිසා තමයි ජාතික ආරක්ෂාව රටේ නැති වුණේ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදය බිහිවුණෙත් ඔය ආකාරයෙන් මහජන ආරක්ෂාව නැතිවී ජාතික ආරක්ෂාවට පීඩණයක් පැමිණීම නිසා. එය තමයි පළවෙනි දේ රටක ජාතික ආරක්ෂාවට බලපාන එක. මහජන ආරක්ෂාව පිළිබඳව අද ප්‍රශ්නයක් තිබෙනවා.
වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ඝාතනය වුණා. ඒ ඝාතනයට පෙර වැලිගම සිද්ධීන් කිහිපයක් සිදුවුණා. පළමු සිදුවීම ලෙස ජාතික ජනබලවේගයේ මන්ත්‍රීවරු පැහැර ගැනීම. මේ පැහැරගත් පිරිස සම්බන්ධයෙන් කළ පරීක්ෂණය මෙතෙක් එළිදක්වා නැහැ. මේ පරීක්ෂණයේදී කවුද පැහැරගත්තේ කියන එක අපිට, රටට හෙළි කළේ නැහැ. දෙවනුව එන්.පී.පී. මන්ත්‍රීවරයෙක්ගේ නිවසට වෙඩි තැබුවා. තවමත් කවුද යන්න සඳහන් කළේ නැහැ. මේ තුන්වෙනි සිදුවීම සභාපති ඝාතනය. මීට පෙර රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව ඇමැතිවරු, පොලිස් ඇමැතිවරු සිටියා. නමුත් මේ කිසිදු කෙනෙක් ඒ වගේ වගකීමක් නැති ප්‍රකාශ කළේ නැහැ. ඒ නිසා මෙය ඉතාම බරපතළ ප්‍රශ්නයක්.
මේ රටේ ඇතිවී තිබෙන තත්ත්වයන් උඩ ඉතාම භයානක තත්ත්වයක් තිබෙනවා, පුද්ලයන්ගේ ආරක්ෂාව පිළිබඳව ගැටලුවක් තිබෙනවා. එය රජය පැත්තෙන් මර්ධනය කරනවාද? නැතිනම් මේ රජයට සම්බන්ධ කණ්ඩායම් මර්ධනය කරනවාද කියන එක පිළිබඳ ගැටලු තිබෙනවා. ඒ නිසා අපි කියා සිටිනවා මහජන නියෝජිතයින්ට ආරක්ෂාව ලබාදීම රජයේ වගකීමක්.