ජනාධිපතිවරයා විසින් අයවැය කථාව ඉදිරිපත් කිරීමට පෙර ලබන නොවැම්බර් 04, 06 සහ 07 යන දිනයන්හිදී පාර්ලිමේන්තුව තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් මන්ත්‍රීවරුන්ගේ විවේක කාමර, ඇඳුම් අල්මාරි ද ඇතුළුව සමස්ත පාර්ලිමේන්තු ගොඩනැගිල්ලම පරීක්ෂාවට ලක් කරන බව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්ත මහතා ඊයේ (23දා) නිවේදනය කළේය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
ලබන වසර (2026) සඳහා අයවැය කථාව ඉදිරිපත් කිරීමට අදාළව විශේෂ ආරක්ෂක විධිවිධාන ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙත මෙයින් දන්වනු කැමැත්තෙමි.
ඒ අනුව අයවැය ඉදිරිපත් කෙරෙන දින ආරක්ෂක වැඩපිළිවෙළ පහත සඳහන් ආකාරයට සිදු කරනු ලබන බවද දන්වනු කැමැත්තෙමි. පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ හඳුනාගත් අධිආරක්ෂිත/විශේෂිත වූ ප්‍රදේශ, මෙදින ආරක්ෂක පරීක්ෂාවට ලක් කරනු ලැබේ. මහජන ගැලරිය ආරාධිත අමුත්තන් සඳහා පමණක් සීමා කරනු ලැබේ. අමුත්තන් සඳහා වන ආරාධනා පත්‍ර මුදල් අමාත්‍යාංශය වෙතින් නිකුත් කරනු ඇත.
මෙදිනට හැකිතාක් අමුත්තන් කැටුව පැමිණිමෙන් වැළකි සිටින ලෙස මන්ත්‍රීවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර තමන් විසින්ම තම රථය පදවාගෙන එන මන්ත්‍රීවරුන්ගේ වාහන නියමිත රථගාලෙහි ගාල් කිරීම සඳහා මන්ත්‍රී පිවිසුමෙහි, කාර්ය මණ්ඩල පිවිසුමෙහි සහ මහජන පිවිසුමෙහි පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට අයත් රියැදුරන් සේවයේ යොදවන බව ද දන්වනු කැමැත්තෙමි.
මහජන ගැලරිය ආරාධිත අමුත්තන් වෙනුවෙන් සීමා කර ඇති බැවින් තමන් සමග ආරාධිත අමුත්තෙක් පැමිණෙන්නේ නම් ජයන්තිපුර පිවිසුමේදී සේවයේ නියුතු පොලිස් නිලධාරින් වෙත ආරාධනා පත්‍රය සමග තම අනන්‍යතාව තහවුරු කර මහජන පිවිසුම දක්වා පැමිණීමට හැකියාව පවතී. පාර්ලිමේන්තු රථගාල මෙදින වසා තබන බැවින් මන්ත්‍රීවරුන් පැමිණෙන වාහන අදාළ රථගාල් වෙත යොමු කරනු ලැබේ. මෙදින රථවාහන පොලිසිය සහ සමීප පොලිස් ස්ථාන මගින් විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරනු ලැබේ.